“ලාභො අලාභො අයසො යසො ච
නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා
අසස්සතා විප්පරිණාම ධම්මා”

ලාභය, අලාභය, යසස, අයසස, නින්දාව, ප්‍රශංසාව, සැපය හා දුක යන මේ ධර්ම අටට අෂ්ට ලෝක ධර්ම යැයි කියනු ලැබේ.

මෙලොව වෙසෙන සෑම මිනිසකු කරාම මේ ධර්ම අට වරින් වර පැමිණෙති. චක්‍රයක් සේ කැරකෙන ඒවා අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වන බැවින් සාමාන්‍ය මිනිසකුට පමණක් නොව සිටුවරයකුට හෝ රජ කෙනකුට වුවද සෑම කල්හිම එකම තත්ත්වයෙන් ජීවත් වීමට නොලැබේ.

1. ලාභය හා අලාභය 

ආහාර, පාන, වස්ත්‍ර, මිල මුදල් ආදී දෑ ලැබීම ලාභය යි.

ලැබූ දෑ නැති වී යෑම හෝ ඉදිරියට නොලැබී යෑම අලාභය යි.

කලෙක බොහෝ ලාභ ඇතිව පොහොසත්ව සිටි තැනැත්තා කරා තවත් කලෙක අලාභය පැමිණෙයි. කලක් අලාභයෙන් හෙවත් දිළිඳුකමින් පීඩිතව සිටි තැනැත්තා කරාද කලෙක ලාභය පැමිණෙයි.

මෙසේ ලාභය හා අලාභය මිනිසා කරා චක්‍රයක් සේ වරින් වර පැමිණෙති.

2. යසස හා අයසස 

තමා හා එක්ව හැසිරෙන, තමාගේ කටයුතුවලට සහභාගී වන පිරිස යසස යි.

එබඳු පිරිසක් නොමැති බව අයසස යි.

කලෙක මහ පිරිසක් ඇතිව සිටි තැනැත්තා තවත් කලෙක මඳ පිරිසක් ඇත්තෙකු හෝ තනි වූවෙකු විය හැකිය. තනිව සිටි තැනැත්තාටද තවත් කලෙක මහ පිරිසක් ඇති විය හැකිය.

මෙසේ යසස හා අයසසද වරින් වර පැමිණෙති. කීර්තිය හා අපකීර්තිය යන අර්ථයෙන්ද යසායස දෙක කියනු ලැබේ.

3. නින්දාව හා ප්‍රශංසාව 

කලෙක බොහෝ දෙනාගෙන් ගැරහුම් ලබමින් සිටි තැනැත්තා තවත් කලෙක බොහෝ දෙනාගෙන් පැසසුම් ලබයි.

එසේම කලෙක බොහෝ ප්‍රශංසා ලැබූ තැනැත්තාට නැවත කලෙක නින්දා විඳීමට සිදුවිය හැකිය.

එබැවින් නින්දා හා ප්‍රශංසාද ස්ථිර නොවේ.

4. සැප හා දුක 

කලෙක සැපසේ ජීවත් වූ තැනැත්තා කරා තවත් කලෙක දුක පැමිණිය හැකිය.

කලෙක දුකින් ජීවත් වූ තැනැත්තා කරාද තවත් කලෙක සැප පැමිණිය හැකිය.

මෙසේ සැප හා දුකද වරින් වර මිනිසා කරා පැමිණෙති.

---

ලෝක ධර්මයන් ඉදිරියේ නුවණැති විය යුතු ආකාරය

ලෝක ධර්මයන්ට අනුව ජීවත් වන මිනිසා ඒවා පිළිබඳ මනා අවබෝධයකින් සිටිය යුතුය.

නුවණ මඳ පුද්ගලයා ලාභය, පිරිවර, ප්‍රශංසාව හා සැපය ලැබූ අවස්ථාවලදී ඒවා නිසා උඩඟු වෙයි. තමා උසස් කොටත් අන්‍යයන් පහත් කොටත් සිතයි. ඒවායින් මත් වී නොයෙක් නොමනා ක්‍රියා කර දෙලොවින්ම පිරිහීමට පැමිණෙයි.

අලාභය, පිරිස් නැතිවීම, නින්දාව හා දුක පැමිණි විටද බොහෝ සෙයින් තැවෙයි. අන්‍යයන්ට වෛර කරයි. ඊර්ෂ්‍යා කරයි. එයින්ද දෙලොවින්ම පිරිහෙයි.

නුවණැති තැනැත්තා ලාභාදිය ලැබූ විට ඒවායේ අස්ථිර හා පෙරළෙන ස්වභාවය සලකා උඩඟු නොවෙයි. ඒවායින් මත් නොවෙයි. ලාභාදිය නැති අය පහත් කොට නොසිතයි.

එසේම අලාභාදියට මුහුණ දුන් විට ශෝක නොවෙයි. ලාභාදිය ඇති අයට ක්‍රෝධ හෝ ඊර්ෂ්‍යා නොකරයි. දුප්පත්කම නිසා නොමනා ක්‍රියා නොකරයි. තමා පහත් කොට නොසිතයි. ලාභාදිය ඇති අය උසස් කොටද නොසිතයි.

මෙසේ ලෝක ධර්මයන් කෙරෙහි මැදහත් සිතින් සිටින නුවණැති මිනිසා දෙලොව වැඩ සිදුකර ගනී.

ලෝක ධර්මයන් කෙරෙහි සමව පැවැත්ම උසස් අදහස් ඇති උත්තමයන්ගේ ස්වභාවයකි. ලෝක ධර්මයන් නිසා උඩඟු වීමත්, ශෝක වීමත් හීනයන්ගේ ස්වභාවයකි.

---

ලෝක ධර්මයන් පිළිබඳ සැලකිය යුතු කරුණු

ධාර්මික අලාභය උතුම් ය

“ධම්මෙන ච අලාභො යො
යො ච ලාභො අධම්මිකො
අලාභො ධම්මිකෝ සෙය්‍යො
යං චෙ ලාභො අධම්මිකො”

ධර්මයෙන් සිදුවන අලාභයත්, අධර්මයෙන් සිදුවන ලාභයත් යන දෙකින් අධර්මයෙන් ලබන ලාභයට වඩා ධාර්මික අලාභයම උතුම් ය.

එබැවින් ලාභය ලැබුණත් එය අධර්මයෙන් නම් එය සත්පුරුෂයා විසින් නොපතයි.

නුවණැතියන්ගේ අපකීර්තිය උතුම් ය

“යසො ච අප්පබුද්ධීනං
විඤ්ඤූනං අයසො ච යො
අයසො ච සෙය්‍යො විඤ්ඤූනං
න යසො අප්පබුද්ධිතං”

මන්දබුද්ධිකයන්ගෙන් ලැබෙන කීර්තියත්, නුවණැතියන්ගෙන් ලැබෙන අපකීර්තියත් යන දෙකින් මන්දබුද්ධිකයන්ගේ කීර්තියට වඩා නුවණැතියන්ගේ අපකීර්තියම උතුම් ය.

බාලයන්ගේ ප්‍රශංසාවට වඩා නුවණැතියන්ගේ ගර්හාව උතුම් ය

“දුම්මෙධෙහි පසංසා ච
විඤ්ඤූහි ගරහා ච යා,
ගරහා ච සෙය්‍යො විඤ්ඤූනං
යං චෙ බාලප්පසංසනා”

අඥයන් විසින් කරන ප්‍රශංසාවත්, විඥයන් විසින් කරන ගර්හාවත් යන දෙකින් බාලයන්ගේ ප්‍රශංසාවට වඩා විඥයන්ගේ ගර්හාව උතුම් ය.

කාමසුඛයට වඩා විවේකයෙන් වන දුක උතුම් ය

“සුඛං ච කාමමයිකං
දුක්ඛඤ්ච පවිවෙකියං
පවිවෙකියං දුක්ඛං සෙය්‍යො
යං චෙ කාමමයං සුඛං”

කාමයෙන් ලැබෙන සැපයත්, විවේකයෙන් ඇතිවන දුකත් යන දෙකින් කාමසුඛයට වඩා විවේකයෙන් වන දුකම උතුම් ය.

---

☸️ අෂ්ට ලෝක ධර්මයන් වෙනස් නොවන දෙයක් ලෙස නොගෙන, ඒවායේ අනිත්‍ය හා විපරිණාම ස්වභාවය අවබෝධ කරගෙන මැදහත් සිතින් ජීවත් වීම නුවණැත්තාගේ පිළිවෙතයි.

රේරුකානේ  චන්දවිමල  මහනාහිමියන්ගේ   බෞද්ධයාගේ  අත්පොත ඇසුරෙන්.